Friday, September 29, 2017

නොනිමි දිවිල්ල...


ආසාවෙන් දිදුලන ඇස්
අඳුරු පෙත දෙස යොමන්...
එකිනෙකා පස්සේ
හති වැටි වැටී..

දුවන්නේ කොහෙටද
හරි හැටි නොදැක...
සොයන්නේ මොනවාද
හරි හැටි නොදැන...

හුස්මක් ගන්නවත්
බිඳකට  නොනැවතී...
රිදුම් දෙන දෙපා ගැන
මැසිවිලි දොඩවමින්...

ඇත්තටම මට දුවන්න ඕනැද...
කිසි විටක නොවිමසමින්...
නැවතිලා සිතන්නට
මොහොතකුත් ලොබ වෙමින්...

ඉදිරියෙන් යන අයගෙ
පාදයෙන් අදිමින්...
පසු පසින් එන අයට
තම බලය පෙන්වමින්...

අසිහියෙන් මුලාවෙන්
දුවන තුරු මේ කතර...
හමු වෙයිද මිනිසුනේ..
සහනයක් යම් දිනෙක....






මම


 

මම කියා
            කෙනෙක්ද...
මට කියා
            දෙයක්ද...
මගෙම වූ
            රුවක්ද...
මවෙත 
            නොවෙන බව..
මටම
        පසක් වූ දිනක...
මම
        මගෙන් මිදෙනු ඇත...
            
සදහටම....


සොයමි ඔබම ඔහු තුළ...



උතුරන සෙනෙහස..
ලෙහි රැඳි උණුහුම...
තනි නොකර එක්ව හිඳි
ගෙවුනු හැම මොහොතක්ම...

සිත නිවන මුදු වදන
නිති පෑව රැකවරණ...
ගවු ගනන් ඈත සිට
ළඟ රැඳුන සෙවණැල්ල...

එක හුස්ම බෙදාගෙන
ගැහෙන දෙහදෙහි රාව...
මා මමම ඔබ ඔබම
අපි අපම පමණක්ම...

සඳ ගිලී දිනිඳු නැග
පෙලන සඳ ඇස් කෙවෙනි...
උනා මතකයෙ තිමිර
සොයමි ඔබම ඔහු තුළ....